Monday, May 25, 2015

නයඟරා ඇල්ල සම්පූර්ණයෙන්ම සිඳී යයි!!!


අපි හැමෝම දන්නා පරිදි ඊජිප්තුව කියන්නේ ගොඩක් දියුණු ශිෂ්ඨාචාරයක් තිබුනු රටක්. අධ්‍යාපනය මෙම පැරණි ශිෂ්ඨාචාරයේ පවා නියත අංගයක් වූවාට සැකයක් නැහැ. මෑත කාලිනව පුරාවිද්‍යාඥ්‍යන් පිරිසකට හැකිවෙලා තියෙනවා ඉතාමත්ම පැරණි පාසලක නටඹුන් කැණීම් මාර්ගයෙන් මතු කර ගැනීමට. ධක්ලා ඕසිස් හි ඇමීඩා නම් ප්‍රදේශයෙන් තමයි මෙම පුරාතනික පාසල සොයා ගෙන තිබෙන්නේ. මෙම ස්ථානයට නයිල් ගඟේ සිට සැතපුම් 200ක පමණ දුරක් ඇති අතර ඈත අතීතයේදී මෙම ප්‍රදේශය හඳුන්වා ඇත්තේ ට්‍රිමිතිස් නමින්. කැණීම් වලින් සොයාගෙන ඇත්තේ පාසලක් බවට තහවුරු කරගෙන ඇති අතර මෙහි පංති කාමර වර්තමානයේ පංති කාමර වලට සෑහෙන දුරට සමානකම් දක්වනවා.

සොයාගෙන ඇති පාසලේ නටඹුන්
සොයාගෙන ඇති පාසලේ නටඹුන්



මෙම පාසලේ පංති කාමරවල ග්‍රීක භාෂාවෙන් ලියැවුනු උද්ධෘත පාඨ පැහැදිලිව දක්නට ලැබෙන අතර මෙම පාඨ උපුටාගෙන ඇත්තේ සුප්‍රසිද්ධ වීර කාව්‍යයක් වන හෝමර් විසින් රචිත "ඔඩිසි" නම් කාව්‍යයෙන්. මෙය මෙවැනි ආකාරයේ උද්ධෘත පාඨ ලියා දක්වා ඇති, නිශ්චිත වශයෙන්ම පාසලක් බවට තහවුරු කරගත් පළමු ස්ථානයයි.

ග්‍රීක භාෂාවෙන් ලියැවුනු උද්ධෘත පාඨ



විද්‍යාඥයන් විශ්වාස කරන ආකාරයට මෙම ස්ථානය පාසලක් ලෙසින් වසර 20ක් පවත්වාගෙන ගොස් ඇති අතර පසුව එකල සිටි සෙරනොස් නම් නගර පාලකයෙකු මෙය තම නිවහනේ කොටසක් බවට පත්කරගෙන ඇත. මොහු විසින් මෙම ගොඩනැගිල්ලේ බිත්තිවල ඇති දේව රූප ඇන්දවූ බවටයි විශ්වාස කෙරෙන්නේ.
ග්‍රීක දේව රූප



මෙම ගොඩනැගිල්ලේ නටඹුන් 1979 වසරේදී සොයාගෙන ඇතත් මෙහි බිත්තිවල ලියැවුනු දේ මතුකර ගැනීමට  පුරාවිද්‍යාඥයන්ට හැකිව ඇත්තේ 2001 වසරේදියි. මෙම ගොඩනැගිල්ල භාවිතා වූයේ කුමන අරමුණක් සඳහාද යන්න අනාවරණය කරගැනීමට හැකිවුනේ ඉන් අනතුරුවයි.

"මෙම ගොඩනැගිල්ල ඉතා විශේෂිත වූවක්. මොකද මෙම ගොඩනැගිල්ල අයත් වන යුගයේ පාසලක් ලෙස භාවිතා කරන ලද බවට නිසැකවම හඳුනාගත් එකම ගොඩනැගිල්ල මෙයයි." නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක වන රෆායෙලා ක්‍රිබියෝර් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටිනවා.

වසර 100කට පෙර මුහුදට බිලිවූ දූපතක් නැවත මතුවෙයි!!


1905 වර්ශයේදී ඇතිවූ විනාශකාරී ටයිෆූනයක් (ටයිෆූනයක් යනු දරුණු විනාශකාරී සුළඟකින් යුත් නිවර්තන කුණාටුවක්) හේතුවෙන් සම්පූර්ණයෙන්ම මෙන් මුහුදට බිලිවූ නඩික්ඩික් අතල (අතලක් යනු මැද ජලාශයක් සිටින සේ සෑදුනු හිරිගල් දිවයිනක්) වසර සියයකට පසුව නැවතත් මතුව තිබෙනවා. පැසිෆික් සාගරයේ තිබී මුහුදුබත් වූ මෙම දිවයිනට බලපෑ විනාශයෙන් එහි වාසය කල සියල්ලන්ම පාහේ මරණයට පත්ව තිබෙන අතර දිවි බේරාගැනීමට හැකිව ඇත්තේ මිනිසුන් දෙදෙනෙකුට පමණයි. එමෙන්ම මෙම සිද්ධියෙන් සම්පූර්ණ දූපතම මෙන් ජලයෙන් වැසී ගියා. නවතම නිරීක්ෂණ කටයුතු වලින් නවසීලන්ත නිරීක්ෂණ කණ්ඩායමක් මෙම අතල නැවතත් ප්‍රතිනිර්මාණය වෙමින් පවතින බවට සොයාගෙන තිබෙනවා.

නඩික්ඩික් අතල නැවත ප්‍රතිනිර්මාණය වී ඇති අයුරු

නවසීලන්ත ජාතිකයන් දෙදෙනෙක් වන ආචාර්ය මරේ ෆෝර්ඩ් සහ මහාචාර්ය පෝල් කෙන්ච්ගේ අධ්‍යයන කටයුතු වලින් ටයිෆූන විනාශයෙන් පසු ඉතිරිවූ කොටස් මතින් නැවතත් අතල නිර්මාණය වන බවට ඔවුන් සොයාගෙන තිබෙනවා. ඔවුන් මෙම අධ්‍යයන කටයුතු සඳහා යොදාගෙන තිබෙන්නේ වර්ෂ 1945 සිට 2010 දක්වා මෙම අතලේ ගුවනින් ලබාගත් ඡායාරූපයි.

එම වසර 60ක කාලය තුලදී ගහකොළ ඉතා සාරවත් ලෙසින් වර්ධනය වී ඇති බව ඔවුන් පෙන්වා දෙනවා. එමෙන්ම මෙම කාලය තුලදී මුලින් මුඩුබිම්ව පැවති ප්‍රදේශ වලින්ද 25%ක පමණ ප්‍රදේශ වල ගහකොළ වැවී තිබෙනවා.

ටයිෆූනය හේතුවෙන් විනාශ වී ගොස් වැලි සහ කොරල් පමණක් ඉතිරිව තිබූ නඩික්ඩික් අතල මේ වන විට වෘක්ෂලතාදිය වැවුණු ස්ථායී දිවයිනක් බවට පත්ව තිබෙනවා.
නඩික්ඩික් අතල 1945දී සහ 2010දී


මෙම දූපත වටා පිහිටි මුහුදේ ඇති සාරවත් බව මෙම දූපත ශීඝ්‍ර වර්ධනයට හේතුවී ඇති බව විද්‍යාඥ්‍ය මතයයි. "කුණාටුව (ටයිෆූනය) හේතුවෙන් රොන් මඩ හා කොරල් විශාල වශයෙන් දූපත දෙසට ගසාගෙනවිත් තිබෙනවා. මෙය දූපතේ ශීඝ්‍ර වර්ධනයට හේතු වූවාට සැකයක් නැහැ." විද්‍යාඥ්‍යන් අදහස් දක්වමින් කියා සිටිනවා.
නඩික්ඩික් අතල පිහිටා තිබෙන ස්ථානය

"මෙයින් අපට අවබෝධ කරගතහැකි කරුණ තමයි විශාල විශාල විනාශකාරී සිදුවීමකින් දූපතක සම්පූර්ණයෙන්ම විනාශ වී යාහැකි වුවත් එය නැවත නිර්මාණය වීමට අවශ්‍ය පසුබිමද එමගින්ම සපයන බව." ඒ ආචාර්ය ෆෝර්ඩ්ගේ මතයයි.

පෘථිවි උෂ්ණත්වය ඉහළ නැගීම නිසා සිදුවෙන මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් බොහෝ දූපත් යටවී යනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කලත් මෙම සිදුවීම එම අදහසට විරුද්ධව කරුණු කියාපානවා. (වර්ෂ 1946න් පසු මෙම දූපත වටා මුහුදු ජල මට්ටම වසරකට මිලි මීටර් 2.2කින් ඉහළ නැගි බවට සොයාගෙන තිබෙනවා.)

ද්‍රව ශ්වසනය


ගොඩබිම වෙසෙන සියලුම සතුන් අවුරුදු දස දහස් ගණනක් තිස්සේ ජීවයේ උපතේ සිට මේ වන තුරුත් ශ්වසන ක්‍රියාවලිය සිදුකලේ එකම ආකාරයකටයි. ජලයේ වෙසෙන ජීවින් හැරෙන්නට අනෙකුත් සියලුම ජීවින්ගේ ශ්වසන පද්ධතිය හැඩ ගැසී තිබෙන්නේ වාතයෙන් (වායුගෝලයෙන්) පමණක් ශ්වසනයට අවශ්‍ය කරන ඔක්සිජන් ලබාගත හැකිවන අයුරෙනුයි. ජලය තුල ඔක්සිජන් අන්තර්ගත වුවත් එම ඔක්සිජන් ආශ්වාස කිරීමට හැකියාවක් ගොඩබිම වෙසෙන සතුන්ට නැහැ. එම හැකියාව ඇත්තේ ජලයේ ජීවත් වන සතුන්ට පමණයි. එම නිසා මිනිසා ඇතුලු සියලුම සතුන්ට ජලය තුල රැඳී සිටිය හැක්කේ තමන්ගේ හුස්ම හිරකර තබාගත හැකි කාලය පමණයි. එම නිසා ජලයේ කිමිදීමේදී පහළට යා හැකි දුර ප්‍රමාණය සීමා සහිත උනා. ඔක්සිජන් ටැංකි සහිත කිමිදුම් කට්ටල භාවිතාවට ඒමත් සමග කිමිදුම් කලාවේ නිම් වළලු පුළුල් වුවත් කිමිදිය හැකි ගැඹුර නම් සීමා සහිත උනා. මෙයට හේතුව වන්නේ ජලය තුල ගැඹුරට යාමත් සමග ඇතිවන අධික පීඩනයයි.

ඔක්සිජන් සහිත කිමිදුම් කට්ටලයක් පැළඳ මිනිසාට කිමිදිය හැක්කේ අඩි 330ක උපරිම ගැඹුරක් දක්වා පමණයි. මෙම මට්ටමේදී කිමිදුම්කරුවා මත ජලයෙන් ඇති කරන පීඩනය වායුගෝල පීඩන 10ක් පමණ වනවා. මෙම පීඩන තත්වයේ විනාඩි 5කට වඩා සිටියහොත් පෙනහළු තුල ඇති නයිට්‍රජන් වායුව කිමිදුම්කරුවාගේ පටක තුලට ද්‍රවණය වීමට පටන් ගන්නවා. (කිමිදුම් කරුවන් රැගෙන යන ඔක්සිජන් ටැංකි සමන්විත වන්නේ තනිකරම ඔක්සිජන් වලින් පමණක් නොවේ. 100% ඔක්සිජන් ආශ්වාස කිරීම විශ සහිත බැවින් මෙම ඔක්සිජන් ටැංකි තුලට වෙනත් වායූන්ද එකතු කෙරෙනවා. බොහෝවිට මෙසේ එක් කෙරෙන වායුව නයිට්‍රජන් වන අතර මීට අමතරව හීලියම්ද භාවිතා කෙරෙනවා.) මෙසේ ඇතුල් වන නයිට්‍රජන් වායුව රුධිර නාල තුලට ඇතුළු වීම නිසා කිමිදුම්කරුවාට මුහුණදීමට සිදුවන්නේ භයානක මරණයකටයි.

මීට අමතරව මීටත් වඩා ගැඹුරකදී කිමිදුම්කරුවාගේ පෙනහළු පුපුරා යාමකට ලක්වන්නට පුලුවන්. ඒ පෙනහළු තුල ඇති වාතයේ හා පිටත ඇති ජලය අතර ඇති අධික පීඩන වෙනස නිසා. පෙනහළු තුලත් ජලය (හෝ වනත් ද්‍රවයක්) ඇත්නම් මෙසේ පෙනහළු පුපුරා යාම වැළක්විය හැකියි. නමුත් ප්‍රශ්නය වන්නේ පෙනහළු තුලට ජලය ඇතුලු වුවහොත් හුස්ම හිරවී කිමිදුම්කරුවා මියයාමයි. ඒ මිනිසාගේ පෙනහළු ජලයේ ඇති ඔක්සිජන් ලබාගත හැකි ආකාරයට සකස් වී නොමැති නිසාවෙන්. කෙසේ වෙතත් ද්‍රවයක් ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට මිනිසාට හැකිදැයි සොයා විද්‍යාත්මක පරීක්ෂණ සිදු කෙරෙන්නේ සෑහෙන කාලයක සිටයි.

මිනිසාගේ ශ්වසන මාධ්‍යය කුමත් වුවත් එයට කාරණා දෙකක් ඉතාමත් හොඳින් සිදුකල හැකි විය යුතුයි. ප්‍රථම කරුණ නම් මිනිසාට අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය එම මාධ්‍යය මගින් පෙනහළු වලට සැපයිය යුතුයි. දෙවැන්න නම් පෙනහළු වල ඇති කාබන් ඩයොක්සයිඩ් ඉවත් කිරීමයි. වාතය මෙම කාර්යයන් දෙකම ඉතාමත් හොඳින් ඉටු කරනවා. මෙම කාර්යයන් දෙකම සෑහෙන තරම් දුරට හොඳින් සිදුකල හැකි ද්‍රවයක් ඇත්නම් එය ශ්වසන මාධ්‍යය ලෙසින් භාවිතා කලහැකි වියයුතුයි.

ද්‍රව ශ්වසනය පිළිබඳ පළමු අත්හදාබැලීම සිදුකර ඇත්තේ 1962 වසරේදී ඩියුක් විශ්ව විද්‍යාලයේ අචාර්ය ජොහැනස් A. කිල්ස්ට්‍රා සහ ඔහුගේ පරීක්ෂණ කණ්ඩායම විසින්. මෙහිදී අධික ද්‍රාවිත ඔක්සිජන් ප්‍රතිශතයක් ඇති ලවණ ද්‍රාවණයක් මීයන්ට ආශ්වාස කිරීමට සළස්වනු ලැබුවා. මෙම මීයන් යම්කිසි කෙටි කාලයක් පණ රැකගන්නට සමත් වුවත් ඔවුන් මියයාම වළකන්නට බැරි උනා. මෙම ද්‍රාවණය ශරීරයට අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණවත් තරමින් සැපයුවත් කාබන් ඩයොක්සයිඩ් පිට කිරීමේ ක්‍රියාවලිය සිදුකිරීමට මෙම ද්‍රාවණයට නොහැකි උනා. මෙම නිසා පෙනහළු වලට ඇතිවූ හානිය මගින් මීයන් මියගියා.


මීට වසර කීපයකට පසුව විද්‍යාඥයන් විසින් ෆ්ලූවොරිනීකරණය කරන ලද හයිඩ්‍රොකාබන් ද්‍රව ශ්වසන මාධ්‍යය ලෙස භාවිතා කරමින් පරීක්ෂණ කටයුතු සිදු කිරීම ආරම්භ කලා. මෙම ද්‍රවයේ ඔක්සිජන් හා කාබන්ඩයොක්සයිඩ් යන වායූන් දෙකම හොදින් ද්‍රවණය වනවා. මෙහිදීද මීයන් යොදාගෙන පරීක්ෂණ කටයුතු සිදු කල අතර මෙම පරීක්ෂණ වලදී ලද ප්‍රතිපල ඔක්සිජනීකරණය කරන ලද ලවණ ද්‍රාවණ යොදාගෙන සිදු කල මුල් පරීක්ෂණයට වඩා සෑහෙන තරම් සුභවාදී උනා. මෙහිදී යොදාගත් මීයන් ද්‍රාවණයෙන් පිටතට ගත් පසුද සාමාන්‍ය පරිදි ශ්වසන ක්‍රියාවලියේ නිරත වීමට සමත් උනා. ඉන් පසුව ගතවූ දශක ගණනාව තුලදී මෙම ශ්වසනය කලහැකි ද්‍රාවණයේ, එනම් පර්ෆ්ලෝරෝකාබන් (PFC) වල සංයුතීන් විවිධ අත්හදා බැලීම් වලින් අනතුරුව වෙනස් වෙමින් පැමිණ අදවන විට මේ සඳහා වන හොඳම ද්‍රාවණය ලෙස පර්ෆ්ලූබ්‍රෝන් (perflubron) හඳුනා ගෙන තිබෙනවා. මෙය 'ලික්විවෙන්ට්' (LiquiVent) ලෙසින්ද හැඳින්වෙනවා. තෙල් ගතියකින් යුත් පැහැදිලි ද්‍රාවණයක් වන මෙම ද්‍රාවණයේ ඝණත්වය ජලයේ ඝණත්වය මෙන් දෙගුණයක් වනවා. සාමාන්‍ය වාතයට වඩා දෙගුණයක් තරම් ඔක්සිජන් ප්‍රමාණයක් (ඒකක පරිමාවකට ) මෙම ද්‍රාවණයේ අන්තර්ගතයි. එමෙන්ම මෙම ද්‍රවය නිශ්ක්‍රීය ද්‍රවයක්. එමනිසා මෙමගින් පෙනහළු වලට හානියක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතා අල්පයි. මෙම ද්‍රවයේ තාපාංකය ඉතා පහළ අගයක් ගන්නා බැවින් වාශ්පීකරණය මගින් මෙම ද්‍රවය පහසුවෙන්ම පෙනහළු වලින් ඉවත් කරන්නට පුලුවන්.

1989 වර්ශයේදී ෆිලඩෙල්ෆියා හිදී මිනිසුන් යොදාගෙන පරීක්ෂණ කටයුතු සිදු කෙරුනු අතර මෙමගින් සෑහෙන දුරට යහපත් ප්‍රතිපල ලැබුනා. මව් කුස තුල සිටිනා කුඩා බිළිඳුන්ගේ ශ්වසන ක්‍රියාවලියද ද්‍රව මාධ්‍යයක සිදුවන අතර මෙම තත්වය කෘතිමව ඇති කලහැකිද යන්නද මෙහිදී පරීක්ෂණයට භාජනය උනා. මෙහිදී 100% සාර්ථක ප්‍රතිපල අත් නොවුනත් මෙමගින් පෙනහළු ක්‍රියාකාරිත්වයට හානි සිදු නොවීම ඉතා සුභවාදී ප්‍රතිපලයක් ලෙසට සැලකුනා.

ද්‍රව ශ්වසනයේදී මුහුණපානට වෙන ප්‍රධානම ගැටළුව වන්නේ ද්‍රව පෙනහළු තුලට ඇතුල් කිරීමේ සහ පිටකිරීමේ ක්‍රියාවලිය සිදු කිරීමට තරම් මිනිස් ශ්වසන පද්ධතිය ශක්තිමත් නොවීමයි. මෙම නිසා ශරීරයට ඔක්සිජන් ඇතුලු කිරීමේ හා කාබන් ඩයොක්සයිඩ් පිට කිරීමේ ක්‍රියාවලිය සිදුවන වේගය දරුණු ලෙස පහත වැටෙනවා. මෙම ද්‍රාවණය ඔක්සිජන් ලබාදීමට සහ කාබන්ඩයොක්සයිඩ් පිට කිරීමට කෙතරම් හොඳ හැකියාවක් දැක්වුවත් පෙනහළු වලට ක්‍රියාකාරි වියහැකි වේගය (ඔක්සිජන් ඇතුල් කිරීමට සහ කාබන්ඩයොක්සයිඩ් පිටකිරීමට ) පහත වැටීම නිසා මරණය සිදුවියහැකියි. මෙයට පිළිතුරු ලෙස බාහිර උපකාරක යන්ත්‍ර භාවිතා කිරීම සිදු කලද, ඉතා හොඳ නීරෝගී කිමිදුම්කරුවෙකු පවා ජලය තුල මෙම ක්‍රියාවලිය සිදුකරද්දී ඉතා ඉක්මනින් මහන්සි වීමකට ලක් වනවා. මෙම ගැටළුවටත් විසදුමක් සොයාගැනීමට නූතන විද්‍යාවට හැකියාව ලැබුනහොත් අඩි දහස් ගණනක් ගැඹුරු මුහුදු පතුලක් දක්වාම කිමිදීමට මිනිසාට හැකිවනවා නිසැකයි

ඉන්කා මමියක මරණයේ තතු හෙලිවේ


මෙම මමියේ අතීතය පිළිබඳ හරිහැටි විස්තරයක් සඳහන් නොවෙතත් 1890දී බැවේරියානු කුමාරිකාවක වන තෙරේසා කුමරිය විසින් මමිය අත්පත් කරගත් බව සඳහන් වෙනවා. ඉන්පසුව වසර 100කට අධික කාලයක් මෙම මමිය තිබී ඇත්තේ ජර්මනියේ බැවේරියානු ප්‍රාන්ත පුරාවිද්‍යා භාණ්ඩ එකතුවේයි.

වසර 1600ක් පමණ පැරණි ලෙසට සැළකෙන මෙම මමිය සොයාගෙන තිබෙන්නේ දකුණු ඇමෙරිකාවේ ඇටකාමා කාන්තාරයෙන්. මෙය වයස විසි ගණනක් වූ ඉන්කා කාන්තාවකගේ මමියක් ලෙසට සැළකෙනවා.




ඇයගේ හිසකේ බැඳි පටි නිපදවා ඇත්තේ බැටළු හෝ ලාමා සත්වයෙකුගේ සම් වලින් බව සොයාගෙන තිබෙනවා. මෙම කරුණත් ඇයගේ හිසේ හැඩයත් පදනම් කරගෙනයි විද්‍යාඥයන් ඇය දකුණු ඇමෙරිකානු සම්භවයක් ඇත්තියක බව නිගමනය කර තිබෙන්නේ.



ඇය චාගාස් ආසාදනය නම් ආසාදනයකින් පෙලුනු බවටත් හඳුනාගෙන තිබෙනවා. නමුත් ඇයගේ මරණය සිදුවී ඇත්තේ මෙම ආසාදනය නිසා නම් නොවෙයි. මෙම ආසාදන තත්වය ඇයව මරණය අභියසටම ගෙනැවිත් තිබුනත් ඇය මියගොස් ඇත්තේ බිලිපූජාවකදී බිල්ලට දීමෙන් බව නවතම වෛද්‍ය පරීක්ෂණ මගින් සොයාගෙන තිබෙනවා.

ඇයගේ සම්භවය හා මරණය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබාගැනීම සඳහා මියුනිච් විශ්වවිද්‍යාලයේ පුරාණව්‍යාධිවේදියෙකු වන ඇන්ඩ්‍රියාස් නර්ලිච් ඇටසැකිල්ල, ශරීර අවයව සහ පුරාණ DNA පරීක්ෂාවට ලක්කොට තිබෙනවා.

මමියේ බාහිර පෙනුමෙන් ඇය අවසන් මොහොතේදී අධික කම්පනයකට ලක්වූ බවට සාක්ෂි දක්නට නැතත් හිස්කබලේ නළල් ප්‍රදේශය බිඳී ගොස් ඇති බවට CT ස්කෑන් පරීක්ෂණයක් මගින් සොයාගෙන තිබෙනවා.

පරීක්ෂණ කටයුතු පිළිබඳව "Plos One" නම් සඟරාවට ලිපියක් ලියමින් අදහස් දක්වන පර්යේෂණ කණ්ඩායම පවසා සිටින්නේ ඇයගේ හිසට තියුණු ආයුධයකින් එල්ල වූ පහරවල් කිහිපයක් නිසාවෙන් ඇය මරණයට පත්ව ඇති බවයි. ඇය මරා දැමීමෙන් අනතුරුව ඇයව ඇටකාමා කාන්තාරයේ වළදමා ඇති අතර කාන්තාරයේ වැලි සහ සුළඟ හේතුකොටගෙන ඇය ස්වාභාවිකව මමිකරණය වී ඇත. මමියේ හිසකෙස් වෛද්‍ය පරීක්ෂණ වලට ලක්කිරීමෙන් අනතුරුව මියයන විට ඇයගේ වයස නිර්ණය කර ඇති අතර ඇය ජීවත් වූ කාලයේදී මුහුදු ආහාර සහ ඉරිඟු වැඩි වශයෙන් ආහාරයට ගන්නට ඇති බවටත් නිගමණය කර තිබෙනවා. 

පතුලක් නැති ආවාටය - බෙරියෙස්සා විල, කැලිෆෝනියාව


මිනිසා විසින් තැනූ නිර්මාණ අතරින් ඉතාම සිත් ඇදගන්නාසුලු ස්ථානයක් ගැන තමයි මේ විස්තරය. ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ නාපා ජනපදයේ ඇති බෙරියෙස්සා නම් විලෙහි තනා ඇති මොන්ටිචෙලෝ නම් අමුණෙහි අතිරික්ත ජලය බැස යාමට (අමුණ පිටාර ගැලීම වැළැක්වීමට ) තනා ඇති පිටාර සිදුර තමයි පතුළක් නැති ආවාටය ලෙස හැඳින්වෙන්නේ. මෙය ලොව විශාලතම පිටාර සිදුර ලෙස සැළකෙනවා. මෙහි විශාලතම විශ්කම්භය අඩි 72ක් වන අතර පහළට යනවිට ක්‍රමයෙන් කුඩා වෙමින් ගොස් අවසානයේදි අඩි 28ක් දක්වා කුඩා වෙනවා. ජලය උරාගන්නා ස්ථානයේ සිට ජලය පිට කරන ස්ථානය දක්වා ඇති දුර ප්‍රමාණය අඩි 700ක්.


මෙම පිටාර සිදුර නිතරම භාවිතා වන්නක් නොවේ. එයට හේතුව ජල මට්ටම පිටාර මට්ටමට එන්නේ කාලයෙන් කාලයට වීමයි. කෙසේ වෙතත් පිටාර සිදුර භාවිතා වන විට එය තුලට ඇදගන්නා ජල පරිමාව ජලය ඝන අඩි 48,400ක් පමණ වනවා.
පිටාර සිදුර තුලට ජලය ඇදගන්නා අයුරු

ජල මට්ටම අඩු කාලයේදී


මෙම පිටාර සිදුර බෙරියෙස්සා විලෙහි පිහිනන්නන්ට හා බෝට්ටු සවාරි යන්නන්ට අනතුරුදායක වනවා. එම නිසාවෙන් විලෙහි ආරක්ෂාකාරී දුර ප්‍රමාණ ලකුණු කර තිබෙන්නේ අනවශ්‍ය තරමට මෙම පිටාර සිදුරට ළඟා වී අනතුරෙහි වැටීම වැළැක්වීමටයි. 1997 වර්ශයේදී කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ උපාධීධාරියෙකු මෙම පිටාර සිදුර තුලට ඇදීගොස් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ලොව දක්ෂතම පිහිනුම් ශූරයෙකුටවත් මෙම පිටාර සිදුර මගින් ඇති කරනා ඇදගැනීමට එරෙහිව පිහිනිය නොහැකි බවයි සඳහන් වන්නේ. එම නිසා මෙම ව්ශ්වකර්ම නිර්මාණය දැකබලාගත යුත්තේ ආරක්ෂාකාරී දුර සීමාව තුල සිටයි.

මෙම පිටාර සිදුරේ නිර්මාණ කටයුතු ආරම්භ වන්නේ 1953 වර්ශයේදී. පුරා වසර 4ක් පුරාවට ඉදිකෙරෙන මෙම නිර්මාණය 1957 වසරේදි වැඩ අවසන් කෙරෙනවා. මොන්ටිචෙලෝ වේල්ල ඉදි කිරීම සිදු කර ඇත්තේ මොන්ටිචෙලෝ නම් නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවන ආකාරයෙනුයි. ජල මට්ටම අධික ලෙස පහත බසින කාලයේදී මෙම නගරයේ ගොඩනැගිලි වල නටඹුන් අදටත් දැකගත හැකියි.
පිටාර සිදුර ඉදිවන කාලයේදී

වේල්ලේ ඉදිකිරීම් කටයුතු සිදු කරන විට මොන්ටිචෙලෝ නගරයේ තිබූ සියලුම ගොඩනගිලි කඩාදැමීම සිදුකර නැහැ. පූටාහ් ක්‍රීක් පාලම ඇතුලු තවත් ගොඩනැගිලි කිහිපයක් කඩා බිඳ නොදමා ජලයෙන් යටවීමට ඉඩහැර තිබෙනවා. 1957 වසරේදී වේල්ලේ ඉදිකිරීම් කටයුතු නිම කිරීමෙන් පසුව තමයි බෙරියෙස්සා විලෙහි උපත සිදුවී තිබෙන්නේ.
මොන්ටිචෙලෝ වේල්ල ඉහළින් බැලූ විට දිස්වන අයුරු

සිව්වැනි මානය හා කාල තරණය

බ්‍රිතාන්‍ය ජාතික ලේඛක H.G. Wells විසින් 1895දී රචනා කරන ලද කාල තරණය තේමා කොටගත් විද්‍යා ප්‍රබන්ධ නවකතාවක් වන "The Time Machine" ප්‍රකාශයට පත් වීමත් සමගම මිනිසාට කාලය හරහා අතීතයට හෝ අනාගතයට ගමන් කල හැකිදැයි යන්න ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වන්නට පටන් ගත්තා. මෙසේ ඇරඹුණු කාල තරණ සංකල්පය පසුගිය සියවසේදී වැඩි වශයෙන්ම කතාබහට ලක්වූ මාතෘකා වලින් එකක්.

1905 වර්ශයේදී ඇල්බට් අයින්ස්ටයින් ඔහුගේ සාපේක්ෂතාවාදය පිළිබඳ විශේෂිත මූලධර්මය ඉදිරිපත් කරමින් කාලය හා අවකාශය සෑමවිටම එකිනෙක බැඳී පවතින බවත් අවකාශයෙන් තොරව කාලයත්, කාලයෙන් තොරව අවකාශයත් පැවතිය නොහැකි බවට ප්‍රකාශ කලා. අයින්ස්ටයින්ගේ අවකාශ-කාල සංකල්පයට අනුව අවකාශයේ මාන හතරක් ගැන සඳහන් වේ. දිග, පළල සහ උස ප්‍රථම මාන තුන වන අතර කාලය සිව්වන මානයයි. මෙයින් ප්‍රථම මාන තුන හරහාම අපට උවමනා ආකාරයට ගමන් කලහැකි අතර සිව්වන මානය වන කාලය හරහා අපට උවමනා ආකාරයට ගමන් කල නොහැක (අද වන තෙක්). (කාල තරණය අප සියලු දෙනාම අත් දකිනා නොවැළැක්විය හැකි ක්‍රියාවකි. අපි සෑම විටම කාලය නම් මානය හරහා පැයකට එක් පැයක වේගයකින් ගමන් කරමින් සිටින්නෙමු. නමුත් සාමාන්‍යයෙන් කාල තරණය යනුවෙන් හඳුන්වන්නේ මෙම වේගයට වඩා වෙනස් වූ වේගයකින් කාලය හරහා ගමන් කිරීමයි.) අධික වේගයකින් (ආලෝකයේ වේගයට ඉතා ආසන්න හෝ ආලෝකය වේගය ඉක්මවා ගිය වේගයක්) ගමන් කරනා රාමුවකදී කාලය ගතවීමේ වේගය පෘථිවියේදී කාලය ගතවීමේ වේගයට වඩා අඩු බව අයින්ස්ටයින් සඳහන් කර ඇත.මෙහිදී පෘථිවිය අධික වේගයෙන් ගමන් ගන්නා රාමුවට සාපේක්ශව නිශ්චල රාමුවක් ලෙස සලකනු ලැබේ.එනම් ආලෝකයේ වේගයෙන් (තත්පරයට කිලෝමීටර් 300,000ක්) ගමන් කිරීමෙන් අපට අනාගතයට ගමන් කල හැක. නමුත් රාමු දෙකේ සිටින කිසිවෙකුටත් කාලය ගතවීමේ වෙනසක් දැනෙන්නේ නැත.

ඔබ වයස අවුරුදු 20දී ආලෝකයේ වේගය මෙන් 99.5% වේගයකින් ගමන් කරන අභ්‍යවකාශ යානයක ගමන් ආරම්භ කලේ යයි සිතන්න. අභ්‍යවකාශ යානයේ ඇති ඔරලෝසුවක් භාවිතයෙන් කාලය මනිනා ඔබ හරියටම වසර 5කට පසුව නැවතත් පෘථිවියට පැමිණේ. එවිට ඔබගේ වයස අවුරුදු 25ක් වන අතර ඔබ ගමන් ආරම්භ කරන විට ඔබගේ සම වයසේ සිටියෙකු ඔබ නැවත පැමිණෙන විට වයස්ගත පුද්ගලයෙකු බවට පත්ව ඇති ආකාරය ඔබට දැකගත හැකිවනු ඇත. (නැතහොත් ඔවුන් මියගොස් පරම්පරා ගණනක් ගතවී තිබෙන්නටද පුලුවන.) එනම් ඔබ අභ්‍යවකාශ යානය හරහා පෘථිවියේ අනාගතයට ගමන් කර ඇත.

නමුත් මෙවැනි වේගයක් ප්‍රායෝගිකව තවමත් ළඟාකරගෙන නැත. නමුත් සෛද්ධාන්තිකව මෙම තත්වය පිළිගෙන ඇත. කෙසේ වෙතත් අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කල සාපේක්ෂතාවාදයේ එන තවත් සංකල්පයක් වෙයි. එනම් කිසිම විශ්වීය වස්තුවකට ආලෝකයේ වේගය ඉක්මවා යා නොහැකි බවයි. එනම් අප ආලෝකයේ වේගයට ඉතා ආසන්න වේගයක් ළඟාකරගත්තද අපට අනාගතයට ගමන් කලහැකි වන්නේ එක්තරා කාලසීමාවක් දක්වා පමණි. අපට අනාගතයට ගමන් කිරීමේ ශක්‍යතාවයක් (හැකියාවක්) ඇත. නමුත් අතීතයට ගමන් කිරීම සම්බන්ධව ගැටලුකාරී තත්වයක් ඇත.

බොහෝ දුරට අතීතයට ගමන් කිරීම කල නොහැක්කක් තරම් වන තත්වයකි ඇත්තේ. කළු කුහර හරහා අතීතයට යා හැකි බවට මතයක් පවතී. කළු කුහර අවකාශ-කාල තත්ව දෙකක් සම්බන්ධ කරන උමං මාර්ග ලෙස ක්‍රියාකරන බවට මතයක් ඇත. නමුත් මේවා තවමත් ඇත්තේ සංකල්ප තත්වයේය. මෙම මතවාද නිවැරදි බවට පිළිගත හැකි සාක්ෂි තවමත් ඉදිරිපත් වී නොමැත.

විද්‍යාවේ දියුණුවත් සමග ආලෝකයේ වේගයට ආසන්න වේගයෙන් ගමන් කල හැකි අභ්‍යවකාශ යානයක් නිපදවුවත් එහි ගමන් කිරීමට කෙනෙකු ඉදිරිපත් වීමට තීරණය කරයි නම් ඔහුට ඒ තීරණය අතිශය අපහසු තීරණයක් වනු ඇත. මන්දයත් මෙම මූලධර්මයට අනුව කාලයේ ආපසු ගමන් කිරීම සිදු කල නොහැක්කක් බැවිනි. එනම් අනාගතයට ගමන් කරනා කෙනෙකුට ආපසු ඒමක් නැත. අනාගතයේ ඇත්තේ කුමන ආකාරයේ තත්වයක් වුවත් එය පිළිගැනීමට ඔහුට සිදු වෙනවා ඇත.

Ads Inside Post